Tuesday 21 June 2016

මම ශ්‍රී ලාංකිකයෙකු නොවෙමි

ඇවිද යනු වස් මායිමෙන් එපිටට
මා වෙත නිකුත් කර ඇති
ගමන් අවසර පතකි
පලස්තීනුවන් අතැ'ති
ඊශ්‍රායෙල් ගමන් බලපත් මෙනි

මුරකපොලු හරහා යනවිට
මම හැඳුනුම් පත දිගුකරමි
ඉරාක වැසියන්ට හිමිව ඇති
ඇමෙරිකන් හැඳුනුම් පත මෙන්

කාසියක් හෝ දෙකක්
මා සතුව ඇත වියදම පිණිස
සිරියානුවන් වෙත විසි කෙරෙන
ප්‍රංස සත සිල්ලර මෙනි

අපගේ පොළොව මත
ජාතික ගීයක් වැයෙයි.
භාරත ජාතික ගීය
මනිපූර් හිදී ගැයෙන කල මෙන්

මා උපන් බිම මත
එසව ළෙලදෙන ධජයකි
තිබ්බතය මත එසැවුණු
චීන්නුන්ගේ කොඩිය මෙනි

මගේ අතැඟිලිවල සළකුණුව ඇත
මවුබිමක් නැති සරණාගතයෙකුගේ මුද්‍රාව
ගින්දරෙන් පුලුස්සා හංවඩු ගැසූ
මියන්මාරයේ දෑතක මෙන්

දීපචෙල්වන් ප්‍ර‍දීපන්


දීපචෙල්වන් ප්‍ර‍දීපන් 1983දී වන්නියේ ඉපිද එහිම හැදී වැඩුණු කවියෙකි. සිය ජනයාගේ අරගලය වෙනුවෙන් දිවි දුන් තම සොයුරා පිළිබඳ මතකයෙන්ද, නොනැවතී ඇවිළ යන යුද්ධය විසින් නිර්මාණය කරන ලද අනවරත ව්‍යසනයනගෙන්ද පරිපීඩිතව එයින්ම පණ පෙවුණු ඔහුගේ යෞවන කවිය, සංහිඳියාව පිළිබඳ ව්‍යාජ නර්මාලාපයන්ට ප්‍ර‍තිමුඛව වැඩෙන නව දෙමළ සාහිත්‍යය පිළිබඳ බලවත් නියෝජනයක් සේ සැළකේ.

පරිවර්තනය: අජිත් සී. හේරත්