Sunday, 2 October 2016

මගේ ත්‍රස්ත බිළින්දා



අපේ තුවක්කු වලින් පුබුදියි සාමයේ කුසුම්
කියා පවසද්දී ඔහු
සාමය කොයිවගේද?
කියා නොඇසුවෙමි මම

අපගේ අක්ෂීන් සුරකිනු ඇත ආරක්ෂාව
කියා කියද්දී ඔහු
ආරක්ෂාව ඇතිවිට කෙබඳුද ස්වභාවය?
කියා නොඇසුවෙමි මම

ඇකුමන් නොකෙරුවෙමු අපි ඔබේ රට
කියා කියද්දී ඔහු
මේ සේනා කඳවුරු, බුදු රූ කොයින්ද?
කියා නොඇසුවෙමි මම

අපි සැවොම වැසියෝය එකම දේශයක
කියා පවසද්දී ඔහු
ඔබ ඔබේ සොයුරන්ට සලකන්නෙ කොයි ලෙසද?
කියා නොඇසුවෙමි මම

අතුරුදන් වෙලා නෑ කිසිකෙනෙක්
කියා කියද්දී ඔහු
සිරගතවූවෝ කොහිගියෝද?
කියා නොඇසුවෙමි මම

කිසි ළඳක් දූෂණය කොට මරා නොදැමිණි
ලිහවා සළුපිළි එකපෙළට පෙලගස්වා කිසිදු යුව ජනයෙක්
වෙඩි තබා සිරස පසුපසට මරා නොදැමිණි
කියා පවසද්දී ඔහු
මෙබිම රුහිරෙන් තෙත්වුණේ කෙලෙසද?
කියා නොඅසා සිටියෙම්ය මම

'අපි මැරුවෙ නෑ කිසි කෙනෙක්
ත්‍රස්තවාදින් හැර'
කියා කියද්දී ඔහු
'ත්‍රස්තයෙකි මගෙ බිළිඳු දරුවා'
කියා කියුවෙමි මම ඔහුට

- දීපචෙල්වන් ප්‍රදීපන්

'මගේ ත්‍රස්ත බිළින්දා' අද උතුරේ දමිල කවීන් අතර ප්‍රබලතම හඬක් හිමි කවියකු ලෙස සැලකෙන දීපචෙල්වන් ගේ කවි අතර ඉතා වැදගත් එකකි. මේ කවිය, ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මරා දමනු ලැබූ, විමුක්තිය උදෙසා සටන් වැදුනු දමිල ජාතියේ දරුවන් පිළිබඳ ප්‍රකාශනයකි. වොජිත් කරුණානායක විසින් සිංහලයට නගන ලදී.

Wednesday, 14 September 2016

බංකරයක් තුල ගෙවුණු අඳුරු දින



අකුරු අහිමිවූවන් ගේ නිසල මුහුණු අස
ගී ගයමින් නටන මැසි මදුරු කැලන්ය

රැයත් දවාලත් අතර
මහා යුධ සන්නාහයක්
මගේ ගම තුල සැරිසරන සඳ
දකින්නට නොමැතිය කෙළිමින් සිටිය දරු කැල

සාක්ෂිකරුවන්ගෙ භූමියේ
සිරගත කෙරුණු දරුවෙකු
කිසිවෙකුත් නැත අනුමැතිය දෙන
තවත් එක අඳුරු සමයක
බංකර ගතවූ දරුවන්ය

අහසෙහි පියාඹන යානාවන් නොමැත
කිසිදු ලෙසකින් නොඑයි ෂෙල් වෙඩි
දස දිශා දෙස බලා අහසෙහි
බියෙන් තැතිගත් දරුවන්ය

තුවක්කු දැන් නොමැත අප අත
බෝම්බ කිසිත් නොමැතිය
ගුවන් යානාද නැත
අතැර ගියෙමු යුධපිටිය
කඳවුරු බැරැක්කද වසා දැමුවෙමු
එහෙත් වටලා ඇත අපව
සිදුවෙමින් ඇත තවත් යුද ගැටුමක්

හමුදාව සැරිසරන වීදියේ
බයිසිකලය නවත්වන්නට යයි
කවුදෝ කෙනෙක්

කවුරුන්දෝ තට්ටු කරයි දොරට
වසන නිවසෙහි
ගිනි අවි අත දැරූ කිසිවෙක්
හඹා යයි වීදියෙහි
පෑගෙන බයිසිකලය

නගරයේ සියලු දන හට ඇවැසිවූ බංකරය
කොහිද ඇත්තේ මට හිමි බංකරය?

එළිය පිරි සමයක් දැක නොමැත දරුවන්
අඳුරු වූ බංකර්ම
පමණකිය මා සතු

-දීපචෙල්වන් ප්රකදීපන්
පරිවර්තනය – වොජිත් කරුණානායක


Monday, 1 August 2016

කවිය මගේ අවියයි



නොමැත මා ළඟ තුවක්කු
නැතිය ගජනා කාල තුවක්කු
නොවේ බෝම්බ හෝ යුධ ටැංකි
වදන් පමණිය ඇත්තෙ මා සතු

එහෙත් ඒවා මගේ නොව
මගේ භූමියටයි ඒ අයිති
මා අයත් ජනපිරිසගේ වදන්ය

තුවක්කු අත දරා පිරික්සුමෙන්
යුද ටැංකි තුළට වී සැරිසරණ
ඒ රණවිරු බල සේනා
කුමට තැති ගන්නේද මගේ කවිවලින්??

සෝදිසි විපරම් කරමින් ඉදිරිපස අසල්වාසයෙහි
වීදියෙහි මගේ පා සටහන් බලමින්
නොදන්නා අංකවලින් ඇමතුම් දෙමින්
ප්‍රතිචාරයක් නැතිවම විසන්ධි කරමින්

මහ රැයෙහි සුනඛයන් හඬ නගා බුරවමින්
මද්දහන් වේලෙදි මෝටර් සයිකල් අරා ගොරබිරම් හඬ නගමින්
අවුස්සා පහුරු ගා බලමින් මගේ පොත්පත්
සිතුවෝය ඒ රණවිරු බල සේනා
මා සිඳ බිඳ වැටේ යයි ඒවායින්

ඔව්! සැබවින්ම බිය විය යුතුයි නුඹලා
නුඹලාගේ තුවක්කු කඩා බිඳ දමන
නුඹලාගේ පුපුරන දෑ සුනුවිසුනු කර දමන
නුඹලාගේ යුධ යන්ත්‍ර පුපුරුවා හරින
නුඹලාගේ කඳවුරු වනසා දමන
මගේ ඒ කවිවලට!

සටන් වදින්නෙමු අපි අපේ මව්බිම වෙනුවෙන්
වැටුප් ලබන්නෙහු නුඹලා
අපේ භූමිය පැහැර ගැනීම වෙනුවෙන්

ඉතින් නුඹලා බිය විය යුතුයි හැමදා
මගේ කවිවලට;
අපේ ජනසෙනඟට;
අපේ භූමියට..

– දීපචෙල්වන් ප්‍රදීපන්

පරිවර්තනය – වොජිත් කරුණානායක

Publish by thecolombopost.net

Poem In Tamil கவிதை எனது ஆயுதம்

Wednesday, 13 July 2016

කොළඹ දී



මගේ වණ තුවාල සුවපත් කරනු හැකි
මා පවසන වදන් වටහා ගත හැකි
මා නගන තර්ක න්‍යාය අවබෝධ කළ හැකි
එකම මිතුරෙක්
බලාපොරොත්තුව සිටිමි මම
හමුවේවිදැයි මුණගැසේදැයි මේ නගරයෙන්

හිස් සිඳලූ තල් ගස් යළිත් දළුලා වැඩේවිදැයි
උදුරා ගත් නිවහන් යලි අපට ඇවැසි යැයි
නටබුන් නගර යළි පණ ගැන්විය යුතු යැයි
ගරා වැටි ගම්දොර යළි සරුසාර විය යුතු යැ‍යි
පැවසිය හැකි අයෙක් හමුවේදැ‍යි
බලා හිඳිමි මම මුහුදු වෙරළේ බංකුවක් මත හිඳ

අතුරුදන්වූවන් යළි පැමිණිය යුතු බව
දරු අහිමි මව් නෙත්වල කඳුළු පිසලිය යුතු බව
මරා දැමුවන්ගෙ සිහින සැබෑ කළ යුතු බව
කිව හැකි කෙනෙක් මුණ ගැසේදැයි
බලමින් සරමි මේ වීථිවල

සියල්ලන්ටම පසුව
මගේ මව්බසට බුහුමන් කළ හැකි අයෙක්
මගේ ජාතිය පිළිගත හැකි අයෙක්
මගේ දේශය ඉවසන අයෙක්
අපේක්ෂාවෙන් සිටිමි මම
බුදුන් සැතපෙන සිංහල දේශයේ

– දීපචෙල්වන් ප්‍රදීපන්

පරිවර්තනය – වොජිත් කරුණානායක


Thanks: http://sinhala.thecolombopost.net/?p=2832

Tuesday, 21 June 2016

මම ශ්‍රී ලාංකිකයෙකු නොවෙමි

ඇවිද යනු වස් මායිමෙන් එපිටට
මා වෙත නිකුත් කර ඇති
ගමන් අවසර පතකි
පලස්තීනුවන් අතැ'ති
ඊශ්‍රායෙල් ගමන් බලපත් මෙනි

මුරකපොලු හරහා යනවිට
මම හැඳුනුම් පත දිගුකරමි
ඉරාක වැසියන්ට හිමිව ඇති
ඇමෙරිකන් හැඳුනුම් පත මෙන්

කාසියක් හෝ දෙකක්
මා සතුව ඇත වියදම පිණිස
සිරියානුවන් වෙත විසි කෙරෙන
ප්‍රංස සත සිල්ලර මෙනි

අපගේ පොළොව මත
ජාතික ගීයක් වැයෙයි.
භාරත ජාතික ගීය
මනිපූර් හිදී ගැයෙන කල මෙන්

මා උපන් බිම මත
එසව ළෙලදෙන ධජයකි
තිබ්බතය මත එසැවුණු
චීන්නුන්ගේ කොඩිය මෙනි

මගේ අතැඟිලිවල සළකුණුව ඇත
මවුබිමක් නැති සරණාගතයෙකුගේ මුද්‍රාව
ගින්දරෙන් පුලුස්සා හංවඩු ගැසූ
මියන්මාරයේ දෑතක මෙන්

දීපචෙල්වන් ප්‍ර‍දීපන්


දීපචෙල්වන් ප්‍ර‍දීපන් 1983දී වන්නියේ ඉපිද එහිම හැදී වැඩුණු කවියෙකි. සිය ජනයාගේ අරගලය වෙනුවෙන් දිවි දුන් තම සොයුරා පිළිබඳ මතකයෙන්ද, නොනැවතී ඇවිළ යන යුද්ධය විසින් නිර්මාණය කරන ලද අනවරත ව්‍යසනයනගෙන්ද පරිපීඩිතව එයින්ම පණ පෙවුණු ඔහුගේ යෞවන කවිය, සංහිඳියාව පිළිබඳ ව්‍යාජ නර්මාලාපයන්ට ප්‍ර‍තිමුඛව වැඩෙන නව දෙමළ සාහිත්‍යය පිළිබඳ බලවත් නියෝජනයක් සේ සැළකේ.

පරිවර්තනය: අජිත් සී. හේරත්

Saturday, 22 May 2010

දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද?

ළමෝ රජුගේ පැනයෙන්
තමන්ගේ පැතිරුණු පිළිතුරු ලබා සිටිති
කැළඹී දිග්ගැසී ඇති මාවතේ
ළමෝ හැමෝම අත් එක්කර අසති
ළමෝ අපේක්ෂා කරන්නේ කුමක්ද යැයි
එය අසා රජ කියයි
ළමුන් අපේක්ෂා කරන්නේ තමන් දෙන කාලයට බව
එය සශ්‍රික යැයිද නිදහස් යැයිද
සමානත්තාවයෙන් යුතුය යනුවෙන්ද
කියන විට රජතුමා
ළමෝ රජුගේ වචනවලින්
පැනයන් ආරම්භ කරත්

රජු තම හැම වචනයකම
බලය වර්ධනය කරන
තම සිනහව තවරා ඇත
ලමුන් බයවෙන තම බියකරු මුහුණ
රජු ළමුන් දෙසට හරවයි
ළමුන්ගේ ලොකය ගුලි කරවන
තම බුද්ධියෙන් කළ පොතෙහි
ඔහු ළමුන් ගැනම කතා කරයි

ළමුන්ගේ සියලු දෙයම ඔවුන්ගෙන් උදුරාගත් තැනැත්තා
ඔවුන්ව ශෝකයට පත්කර ඇති
බියජනක කාලය ඇති කළ තැනැත්තා
කුරීරුබවේ සශ්‍රික කාලය
ළමුන් වෙත තිළින කරනබව පවසයි
ළමෝ දනිති සියල්ලම

සියල්ලක්ම මුළුමනින්ම වසා දමා
සිනහව පතුරුවන බලය
ගොදුරු කරගෙන ස්වභාවය
සට කපටබවින් සිරකරගෙන
පැතිර ඇති සිතුවිළි විනාශකර ගැනීමට
ළමුන් ආශා කළේ නැත
රජු තම පිළිතුරුවලින්
ළමා මසද
තම සිනහවෙන්
ඔවුන්ගේ ඇස්ද
තුවාළ කරමින් සිටියි
_____________________
දීපචෙල්වන් ගේ කවියක්

දෙමළ කාව්‍ය සාහිත්‍ය තුළ බහුලව දක්නට ලැබෙන ස්0කේතාත්මක කාව්‍ය භාවිතය සමකාලීන
සමාජ කලබගෑනිය කවියට ගැනීමෙදී සාර්ථකව යොදා ගත් අවස්ථාවකට උදාහරණයක් සපයන මෙම කවිය වනාහි දේශපාලනික කවියට නව අරුතක් සපයන්න්කි.