Sunday, 2 October 2016

මගේ ත්‍රස්ත බිළින්දා



අපේ තුවක්කු වලින් පුබුදියි සාමයේ කුසුම්
කියා පවසද්දී ඔහු
සාමය කොයිවගේද?
කියා නොඇසුවෙමි මම

අපගේ අක්ෂීන් සුරකිනු ඇත ආරක්ෂාව
කියා කියද්දී ඔහු
ආරක්ෂාව ඇතිවිට කෙබඳුද ස්වභාවය?
කියා නොඇසුවෙමි මම

ඇකුමන් නොකෙරුවෙමු අපි ඔබේ රට
කියා කියද්දී ඔහු
මේ සේනා කඳවුරු, බුදු රූ කොයින්ද?
කියා නොඇසුවෙමි මම

අපි සැවොම වැසියෝය එකම දේශයක
කියා පවසද්දී ඔහු
ඔබ ඔබේ සොයුරන්ට සලකන්නෙ කොයි ලෙසද?
කියා නොඇසුවෙමි මම

අතුරුදන් වෙලා නෑ කිසිකෙනෙක්
කියා කියද්දී ඔහු
සිරගතවූවෝ කොහිගියෝද?
කියා නොඇසුවෙමි මම

කිසි ළඳක් දූෂණය කොට මරා නොදැමිණි
ලිහවා සළුපිළි එකපෙළට පෙලගස්වා කිසිදු යුව ජනයෙක්
වෙඩි තබා සිරස පසුපසට මරා නොදැමිණි
කියා පවසද්දී ඔහු
මෙබිම රුහිරෙන් තෙත්වුණේ කෙලෙසද?
කියා නොඅසා සිටියෙම්ය මම

'අපි මැරුවෙ නෑ කිසි කෙනෙක්
ත්‍රස්තවාදින් හැර'
කියා කියද්දී ඔහු
'ත්‍රස්තයෙකි මගෙ බිළිඳු දරුවා'
කියා කියුවෙමි මම ඔහුට

- දීපචෙල්වන් ප්‍රදීපන්

'මගේ ත්‍රස්ත බිළින්දා' අද උතුරේ දමිල කවීන් අතර ප්‍රබලතම හඬක් හිමි කවියකු ලෙස සැලකෙන දීපචෙල්වන් ගේ කවි අතර ඉතා වැදගත් එකකි. මේ කවිය, ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මරා දමනු ලැබූ, විමුක්තිය උදෙසා සටන් වැදුනු දමිල ජාතියේ දරුවන් පිළිබඳ ප්‍රකාශනයකි. වොජිත් කරුණානායක විසින් සිංහලයට නගන ලදී.

0 comments:

Post a Comment